04. නිග්‍රෝධ සූත්‍රය

/ / Udana

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

♦ නිග්‍රෝධ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී ගත වූ මුල් දිනයන් හි (පස්වැනි සතියේ) උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි අජපාල නුග රුක් මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඉක්මගිය පසු, ඒ සමාධියෙන් නැගී සිටි සේක.

එවිට ක්‍රෝධයත් මානයත් මුල් කොටගෙන “හුං හුං“ යන හඬනගමින් යන (හුහුඞකජාතික) එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචියෙහි යෙදුනේ ය. සතුටු සාමීචි කථා නිමකොට එකත්පසෙකින් හිටගත්තේ ය. එකත්පසෙකින් සිටි ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසී ය.

“භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් බමුණෙක් වෙයි ද.? බ්‍රාහ්මණ භාවය ඇති කරන ධර්ම කෙතරම් ඇද්ද..?“

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.

යෝ බ්‍රාහ්මණෝ බාහිතපාපධම්මෝ
නිහුහුඞකෝ නික්කසාවෝ යතත්තෝ
වේදන්තගු වුසිතබ්‍රහ්මචරියෝ
ධම්මේන සෝ බ්‍රහ්මවාදං වදෙය්‍ය
යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලෝකේ‘ති.

තේරුම

යම් බ්‍රාහ්මණයෙක් බැහැර කළ පාපධර්මය ඇත්තේ ද, ක්‍රෝධ මාන මුල් කර ගෙන ඇති කරගන්නා හුහුංකාර නැත්තේ ද, කෙලෙස් කහට නැත්තේ ද, සංවර කරගත් ජීවිතයකින් යුතු වේ ද, සතර මාර්ග ඥානයෙන් නිවනට පත් වූයේ ද, නිවන් මග කෙළවර කොට සිටියේ ද, යමෙක් තුළ ලෝකයේ කිසි අරමුණක් කෙරෙහි උත්සන්නව එන රාගාදී කෙලෙස් නැත් ද, ඔහු, “මම බ්‍රාහ්මණයෙක් වෙමි“ යි කියන්නේ ධර්මයෙන් කියන්නේ ය.

Send your Dhamma Questions

෴ ඔබේ දහම් ගැටලුව යොමු කරන්න

මෙම ලිපිය කියවීමේ දී ඇතිවූ දහම් ගැටලු හෝ ඔබේ වෙනත් දහම් ගැටලු යොමු කරන්න අප වෙත. එම දහම් ගැටලුවට ධර්ම විනය පිළිබඳ මනා දැනුමක් ඇති පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පිළිතුරු සපයනු ලැබේ.

Sutta Requests

෴ ඔබට අවශ්‍ය සූත්‍ර දේශනා

පින්වත් ඔබට කියවීමට අවශ්‍ය සූත්‍ර දේශනා, සොයා ගැනීමට දුෂ්කර සූත්‍ර දේශනා ආදිය වෙත් නම් අප වෙතින් විමසන්න. ඔබට අවශ්‍ය සූත්‍ර දේශනාව, ඔබ වෙත මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන්නට අප කටයුතු කරන්නෙමු.

සාදු! සාදු!! සාදු!!!


භාවය

යෝ – යම්,
බ්‍රාහ්මණෝ – බ්‍රාහ්මණයෙක්,
බාහිතපාපධම්මෝ – බැහැර කරන ලද පාප ධර්ම ඇත්තේ ද,
නිහුහුඞකෝ – ක්‍රෝධ මාන නිසා නගන “හුහුං“ ශබ්දය බැහැර කර දැමුවේ ද,
නික්කසාවෝ – කෙළෙස් කසට නැත්තේ ද,
යතත්තෝ – සංයත භාවයට පත් ජීවිතයක් ඇද්ද,
වේදන්තගූ – සතර මාර්ග ඤාණයෙන් නිවනට පත් වූයේ වේ ද,
වුසිතබ්‍රහ්මචරියෝ – නිවන් මගෙහි හැසිරී අවසන් කළේ ද,
යස්ස – යමෙකුට
ලෝකේ – ලෝකයෙහි,
කුහිඤ්චි – කිසිදු තැනෙක,
උස්සදා – උත්සන්නව නැග එන රාග, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි යන අකුසල්,
නත්ථි– නැද්ද,
සෝ – ඔහු,
බ්‍රහ්මවාදං – මම බ්‍රාහ්මණයෙක් මි‘යි පවසන බ්‍රහ්මවාදය,
ධම්මේන – ධර්මයෙන්,
වදෙය්‍ය – කියන්නේ ය.
සරළ අර්ථය

යම් කිසි බ්‍රාහ්මණයෙක් පාපධර්මයන් බැහැර කොට සිටියි ද, ක්‍රෝධමාන මුල් කොටගෙන ඇති කරන හුහුං ශබ්ද නැද්ද, කෙලෙස් කහට නැද්ද, සංවර කරගත් ජීවිතයකින් යුතු වේ ද, සතර මාර්ග ඥානයෙන් නිවනට පත් වූයේ ද, නිවන් මගෙහි හැසිරී අවසන් කළේ ද, යමෙක් තුළ ලෝකයේ කිසි තැනෙක උත්සන්නව එන රාගාදී කෙලෙස් නැද්ද, ඔහු ‘මම බ්‍රාහමණයෙක්‘ යැයි ධර්මයෙන් කියන්නේ ය.

සටහන

භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වන අවදියෙහි දඹදිව් තලය විවිධ දෘෂ්ටි මතවාද ආදියෙන් යුතු මිනිසුන් ගෙන් පිරී පැවතිනි. අධ්‍යාත්ම විමුක්තිය උදෙසාත් සත්වයා ගේ පිරිසිදු භාවය උදෙසාත් විවිධ ක්‍රියාවන් අනුගමනය කළ උදවිය සෑම අතකම පැතිරී සිටියහ. භාග්‍යවතුන් වහන්සේ අජපාල නීග්‍රෝධ මූලයේ වැඩ වසද්දී එතැනට පැමිණියේ ද එවැනි බමුණෙකි.

සම්මා සම්බෝධියෙන් පස්වැනි සතියේ දී භාග්‍යවතානෝ අජපාල නුගරුක්මුල සමවත් සුවයෙන් වැඩ සිටි බව අපි අසා ඇත්තෙමු. මෙම නිග්‍රෝධ වෘක්ෂය පිහිටා ඇත්තේ බෝධි මූලයට නැගෙනහිර දිශාවෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ සත්දිනක් ම එකම පළඟින් වැඩ සිට, ඉන් නැගී සිටි අවස්ථාවේ දී මෙම හුහුඞක ජාතික බ්‍රාහ්මණයා බුදු සමිඳුන් වෙත පැමිණියේ ය.

ඔහු ‘දකින දෙයින් ශුභ අශුභ භාවය ඇතිවේ, අසන දෙයින් ශුභ අශුභ භාවය ඇතිවේ‘ ආදී වශයෙන් මිත්‍යාදෘෂ්ටියක් ඇති කරගත් අයෙකි. එසේ ම දැඩි මානයෙන් සහ ක්‍රෝධයෙන් යුතුව සියල්ල විමසා බලමින්, පිළිකුල් කරමින් “හුං හුං“ කියමින් හැසිරෙන අයෙකි. එනිසා හුහුඞකජාතික යනුවෙන් ඔහු හැඳින්වේ.

භාග්‍යවතුන් වහන්සේ දුෂ්කරක්‍රියා කරන සමයෙහිත්, උරුවේලාවෙහි සේනානි නියම් ගමට පිඬු පිණිස වඩින අවස්ථාවේ දී ත්, මේ බ්‍රාහ්මණයා විසින් භාග්‍යවතුන් වහන්සේ ව දැක තිබේ. මෙදින ‘බ්‍රාහ්මණයෙක් වන්නේ කෙසේ ද, බ්‍රාහ්මණ භාවය ඇති කරන කරුණු මොනවාද‘ යන ගැටලුවට පිළිතුරු ලබා ගැනීම පිණිස ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි අතර, භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයා ගේ ස්වභාවයට ම ගැලපෙන අයුරින් උදාන ගථාවකින් ඔහුට පිළිතුරු දී වදාළ සේක.

ලෝකයේ ඇතැම් අය ජාතිමානය ආදිය මුල් කොට ගෙන ‘මම බ්‍රාහ්මණයෙක් වෙමි‘යි කියති. නමුත් එය ධර්මයෙන් පවසන දෙයක් නොවේ. යමෙක් ‘මම බ්‍රාහ්මණයෙක් වෙමි‘යි ධර්මයෙන් කියන්නේ නම්, ඔහු තුළ රාගාදී ක්ලේෂයන් නොතිබිය යුතු ය. එවිට පව් බැහැර ලූ අර්ථයෙන් ඔහු සැබෑ බ්‍රාහ්මණයෙක් වේ. එකම ගාථා ධර්මයකින් මේ පරම සත්‍යතාවය භගවත් මුනිරජාණෝ මනාකොට ප්‍රකාශ කළ සේක.

සාදු! සාදු!! සාදු!!!

පරිවර්ථනය සහ සටහන: පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

Image Credits: Flickr.com: Parée

Leave a Reply

Your email address will not be published. Required fields are marked *