DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • දහම් ඔසු
  • ‘මරණය’ මැරීම
January 16, 2021

‘මරණය’ මැරීම

‘මරණය’ මැරීම

by Agra Evanesceca / Saturday, 23 October 2010 / Published in දහම් ඔසු, දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
මරණය

අපි ලෝකයේ ඉපිද සිටින්නෙමු. ඇත්ත වශයෙන් ම කියන්නේ නම්, අපත් සමඟ අපේ ලෝකය ඉපිද තිබේ. එසේ උපන් දුක නම් වූ ලෝකය මුළුමණින් ම සංඛතයකි. එනම් හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන එකකි. හරවත් කිසිවක් නැති, සාරයෙන් ශූන්‍ය එකකි.

නමුත් ඒ ලෝකයට අපි ඇලී සිටිමු. අතිශයින් ආදරය කරමු. එය නැති වී යෑම අපට දුකකි. එනිසා ම ලෝකයේ අනිත්‍යතාවය සිහි කිරීම තබා ඒ ගැන සිතීමටත් බොහෝ දෙනෙක් බිය වෙති.

අප සිතා සිටින්නේ ජීවිතය යනු ”මමෙකු” ගේ හිමිකමක් කියා යි. එය අප ගේ නො දන්නා කම යි. මුලාව යි. නමුත් මම යැයි සිතා සිටින්නේ සැබැවින් ම මමෙකුට හෝ වෙනකෙකුට අයත් දෙයක් නොවේ. හුදු හේතු ප‍්‍රත්‍යයන් ගෙන් හට ගත් ධර්මතා සමූහයක් ය.

හටගත් යමක ඇති ස්වභාවය කුමක් ද..? වෙනස් වෙමින් පැවතී නැසී යෑම යි. එය ඒකාන්ත වශයෙන් ම සිදු වන දෙයකි. යමක් හට ගත්තේ නම් එහි වෙනස් වීම සහ නිරුද්ධ වීම යෑම ‘අනිවාර්යය’ වේ. එය නතර කිරීමට කිසිඳු ක‍්‍රමවේදයකට, කිසිඳු බලයකට හෝ ඓශ්චර්යයකට නො හැකි ය.

අප ගේ ජීවිතය මුළුමණින්ම හට ගත් එකක් නිසා එය ද නියත වශයෙන් ම නැසී යන්නේ ය. අප කෙතරම් වෑයම් කළ ද එය වැළැක්විය නො හැකි ය.

බුදු රජාණන් වහන්සේ යනු මුළුමහත් විශ්වයේ ම පහළ වූ ශ්‍රේෂ්ඨත ම මනුෂ්‍යයා යි. බලවත් ම, අසිරිමත් ම පුද්ගලයාණෝ යි. නමුත් බුදු රජුන් ගේ ශරීරය පවා හටගත් එකකි. සංකතයකට උරුම වන ඉරණමට යටත් වූවකි.

වරක් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප‍්‍රාසාදය නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එදා භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගී සිට විහාරය පසුපස සෙවනෙහි පිට තවමින් වැඩ හුන් සේක.

ඒ අවස්ථාවේ දී ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ ගේ ගාත‍්‍රා සිය දෑතින් පිරිමදිමින් මෙසේ පවසා සිටියහ.

”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ආශ්චර්යය යි. ඉතා ම පුදුම යි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීර පැහැය, පෙර මෙන් දැන් පිරිසිදු නොවේ. හාත් පසින් බබළන්නේ ද නො වේ. මේ සියළු ගාත‍්‍රා ද ලිහිල් වී ඇත, රැලි වැටී ඇත. කය ද ඉදිරියට නැඹුරු වී තිබේ. ඇස කණ නාස දිව කය යන මේ ඉඳුරන් ගේ ද වෙනස් භාවයක් පෙනෙයි.”

භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරය වනාහී මහපුරිස් ලකුණු දෙතිසකින් ශෝභමාන වී ගිය අතිශය සුන්දර එකකි. සසර දී පුරන ලද පින් මහිමයෙන් උන්වහන්සේ ලොව බිහි වූ සුන්දරතම තැනැත්තාණෝ වූ සේක. එනමුත් ඒ සිරි සිරුර ද ජරාවට පත් විය. ලෝ දහම කෙතරම් බියකරු ද..?

ඒ අවස්ථාවේ දී බුදු රජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ පිළිතුරු දුන් සේක.

”ආනන්දය, එය එසේ ම යි. යෞවනයේ තිබෙනුයේ දිරායන ස්වභාවය යි. නිරෝගීභාවයේ තිබෙනුයේ ලෙඩවෙන ස්වභාවය යි. ජීවිතයේ තිබෙනුයේ මියැදෙන ස්වභාවය යි.

දැන් මේ ශරීර පැහැය, පෙර මෙන් පිරිසිඳු නොවේ. හාත් පසින් බබළන්නේ ද නො වේ. මේ සියළු ගාත‍්‍රාද ලිහිල් වී ඇත, රැලි වැටී ඇත. කය ද ඉදිරියට නැඹුරු වී තිබේ. ඇස කණ නාස දිව කය යන මේ ඉඳුරන් ගේ ද වෙනස් භාවයක් පෙනෙයි.”

භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ ඉන් පසු මෙසේ ද වදාළ සේක.

ධිතං ජම්මි ජරේ අත්ථු දුබ්බණ්ණකරණී ජරේ,
තාව මනෝරමං බිම්බං ජරාය අභිමද්දිතං

එම්බා ලාමක ජරාව, දුරුවර්ණ කරන සුලූ ජරාව, නුඹට නින්දා වේවා…!
එතරම් ම මනරම් වූ ශරීරය ජරාවෙන් මඩනා ලද්දේ ය.

යෝ ච වස්සසතං ජීවේ සෝපි මච්චුපරායණෝ,
න කිඤ්චි පරිවජ්ජේති සබ්බමේවාභිමද්දති..

යමෙක් වර්ෂ සියයක් ජීවත් වුව ද, ඔහු ද මරු වසඟයට යන්නේ ය. (මේ ජරාව) කිසිවක් අත් නො හරී. සියල්ල ම යටපත් කරයි.”

(ජරා සූත‍්‍රය – සංයුත්ත නිකාය)

ඇතැම් විට ඔබ තරුණ වයසේ පසුවන අයෙක් විය හැකි ය. නමුත්, තව නොබෝ කලකින්, ඔබේ සිරුර ද ජරාවෙන් වෙලා ගනු නියත ය.

හේතූන් ගෙන් හට ගත් සිරුර, ජරාවට පත් වන විට, හම රැළිවැටී යන විට, කෙස් ඉදී යන විට, ඉඳුරන් දුර්වල වී යන විට, අපට සිතෙන්නේ කුමක් ද..?

‘මම’ වසයට යන බව යි. නො එසේ නම්, ‘මාගේ ශරීරය’ වයසට යන බව යි. නමුත් හේතුන් ගෙන් හටගත් සංකතයක්, ධර්මතාවයක් ලෙස ම, ජරාවට පත් වන බව අපට නො හැඟේ. එනිසා ම ශරීරය නම් වූ ලෝක ධර්මය දිරා යන විට, එයට මුලා වූ අපි ‘මම දැන් වසයට ගිහිල්ලා’ යනුවෙන් සංකල්පයක් ගොඩ නගා ගනිමු. දිරාගිය වෙනත් සිරුරක් දුටු විට ද, ‘එයා වසයට ගිහිල්ලා’ යනුවෙන් පවසමු. එම ජරාව අපට දුකකි. මහත් දුකකි.

නමුත් භාග්‍යවතුන් වහන්සේ යථාර්ථය, යථාර්ථය වශයෙන් ම අවබෝධ කළ සේක. ලෝක ධර්මයන් ලෝක ධර්මයන් ලෙස ම අවබෝධ කළ සේක.

තථාගත ‘සිරි සිරුර’ දිරා යද්දී, තමන් දිරායන බවක් හෝ, තමන් ගේ සිරුර දිරා යන බවක් උන්වහන්සේට නො හැඟුනි.
ජීවිතය කෙරෙහි පැවති මමත්වය මුළුමණින් ම දුරු කොට වැඩ සිටි බුදු සමිඳාණන්ට එනිසා කිසිඳු මානසික දුකක් නො වීය.
බාහිර ලෝකයේ, ගස්-වැල්, ආදිය දිරා යන්නේ යම් සේ ද, එසේ ම තමන් ගේ ද නො වන, අනුන් ගේ ද නො වන, ලෝක ධර්මයක් ම වූ රූපය එහි ස්වභාවය වන ජරාවට ලක්වන බව උන්වහන්සේ සක් සුදක් සේ දත් සේක.
එනිසා ම සිය සිරුර පිළිබඳ පවසද්දී පවා, ඒ පවසන වචනයන් ගේ ද අනාත්මය ම ගැබ්කොට දේශනා කළ සේක.

“තාව මනෝරමං බිම්බං ජරාය අභිමද්දිතං..”

”ඒතාක් මනරම් බිම්බය (ශරීරය) ජරාවෙන් මඩින ලදි…” යන ප‍්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ, ඒ ආත්ම ආත්මීය ශූන්‍යතාවය යි.
මෙසේ තමන් ගේ ශරීරය හුදෙක් ම ලෝකයේ හට ගත් තවත් එක් රූපයක් සේ දුටු උන්වහන්සේ එහි දිරායාම ධර්මතාවයක් ලෙස ම දුටු සේක.

ලෝකයේ පවතින දෑ, වෙනස් වී යන බව පෙනුන ද, නැතිවී යන බව දුටුව ද, සාමාන්‍ය ලෝකයා තුළ මුල් බැස ගෙන ඇත්තේ නිත්‍ය සඤ්ඤාව යි. එනිසා ම, සාමාන්‍ය ලෝකයා ගේ අපේක්ෂාව වනුයේ, වසයට යෑමෙන් තොර සදාකාලික යෞවනයකි. රෝග පීඩාදියෙන් තොර සැමදා පවතින නිරෝගී භාවයකි. මරණයෙන් තොර ජීවිතයකි. මේ ජීවිතයේ දී එම අපේක්ෂාව ඉටු කර ගන්නට නො හැකි බව දල වශයෙන් හෝ පෙනෙන විට, ඔවුන් සිදු කරන්නේ, නොපෙනෙන මතු ජීවිතයක දී හෝ එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට කල්පනා කිරීම යි. ඒ ඔස්සේ ම කල්පනාව මෙහෙයවා, මරණින් මතු සදාකාලික ජීවන පැවැත්මක් පිළිබඳ මිත්‍යා සංකල්ප තුළ ඔවුහු සිරවෙති.

නමුත් බුදු රජාණන් වහන්සේ ගේ දහම අවබෝධ කිරීමට වෙර දරන ආර්ය ශ‍්‍රාවකයා ගේ ස්වභාවය එසේ නොවේ.

යම් තැනක තරුණබව ඇද්ද, එතැන ම, වයසට යෑමේ ස්වභාවය පවතින බව, ආර්යශ‍්‍රාවකයා දනියි. තරුණබවත් වයසට යෑමත් අතර ඇත්තේ, කිසිදු අයුරකින් වෙන් කළ නො හැකි, යුගල සබඳතාවයක් බව ඔහු තේරුම් ගනියි. එ නිසා ම යෞවන භාවය යනු ඔහුට, උඩඟුවන්නට දෙයක් නොවේ. එය ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට උපයෝගීකර ගත හැකි ශක්තිමත් තෝතැන්නක් පමණි.

තවද තරුණ බවත් වයසට යෑමත් එකිනෙක ඈදී පවතින බව අවබෝධ කරගන්නා ශ‍්‍රාවකයා, කිසි දා, වසයට යෑමෙන් තොර තරුණ භාවයක් ලැබිය නො හැකි බව ප‍්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගෙන සිටියි. සදාකාලික යෞවනත්වයක් පිළිබඳ ව අපේක්ෂා මාත‍්‍රයක් හෝ ඇති කරගන්නට ඔහු කැමති නොවේ.

එසේ ම, යම් තැනක නීරෝගී භාවය ඇත් නම්, එතැන ම ලෙඩ වීමේ ස්වභාවය ද පවතින බව ද ආර්ය ශ‍්‍රාවකයා අවබෝධ කර ගන්නේ ය. ඒවා අතර ඇත්තේ ද, වෙන් කළ නො හැකි යුගල සබඳතාවයකි. එම අවබෝධයේ පිහිටා සිටින ශ‍්‍රාවකයා, නීරෝගී භාවයෙන් උදම් නොවේ. රෝගී භාවයෙන් පීඩිත ද නොවේ. සදාකාලික නිරෝගී භාවයක් පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගන්නට ද ඔහු තුළ කිසිදු කැමැත්තක් නැත.

එසේ ම යම් තැනක ජීවිතය ඇද්ද, ජීවත් වීම තිබේ ද, එතැන ම, මරණයට පත්වන ස්වභාවය අත් නො හැර පවතින බව බුදු රජුන් ගේ ශ‍්‍රාවකයා ප‍්‍රත්‍යක්ෂ වශයෙන් ම දන්නේ ය. එනිසා ම ජීවිතය යනු ඔහුට, අවබෝධ කළ යුතු යමක් විනා, හිස් ලෙස විඳවමින් ගත කළ යුත්තක් නොවේ.ජීවිතයක් මරණයත් අතර ඇති වෙන් කළ නොහැකි සබැඳියාව පිළිබඳ අවබෝධය නිසා ම, සදාකාලික ජීවනයක් පිළිබඳ හිස් අපේක්ෂාවලට ඔහුතුළ ඉඩක් නැත.

ජීවිතය මරණයෙන් වෙන් කළ නො හැකි බව ත්, හට ගත් සියල්ල නිශ්චිත ලෙස ම අභාවයට යන බවත් දකිනා තැනැත්තා තුළ සිදු වන්නේ කුමක් ද..? ජීවිතය නිත්‍යව පවත්වාගෙන යන්නට දරණු ලබන, සියලූ මානසික ක‍්‍රියාදාමයන් අහෝසි වී යන්නට පටන් ගැනීම යි. අනිත්‍ය දේ කෙරෙහි පවතින ඇල්ම දුරු වී යන්නට පටන් ගැනීම යි. ජීවිතය පිළිබඳ පරිපූර්ණ උපේක්ෂාවක් ඇති වන්නට පටන් ගැනීම යි. සියල්ල අනිත්‍ය බවත්, දුක් බවත්, අනාත්ම බවත් පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගන්නා උත්තමයා තුළින් ලෝකය කෙරෙහි පවතින සියලූ ඇල්ම නිරුද්ධ වී යන්නේ ය. මම මගේ යනුවෙන් ඇතිවන හැඟීම් සියල්ල අංශුමාත‍්‍රයක් හෝ ඉතුරු නැතිව, නිරුද්ධ වී යන්නේ ය.

එය මේ ජීවිතයේ දී ම සියලු රෝගයන් ගෙන් නිදහස් වී පරම නීරෝගී භාවයට පත් වීම යි. සියලු ජරාවෙන් නිදහස් වී පරම යෞවනත්වය සාක්ෂාත් කිරීම යි. මරණයට පෙර ම මරණය මරා දැමීම යි.

යම් තැනෙක මමෙක් නැතිනම්, මාගේ කියා දෙයක් ද නැති නම්, ලෙඩ වන්නට අයෙක් කොහි ද..?

මමත්වය කිසිදු අයුරකින් නැත්නම්, දිරායන්නට මමෙක් කොහින් ද..?

යම් තැනක දිරා යාමක් නැති නම්, එතැන මරණයට ඉඩක් තිබේ ද..?

මෙසේ සියලු ආකාරයෙන් ජරා මරණ ඉක්මවා ගිය මුණිවරයා පරිපූර්ණ ශාන්තභාවයට, නිවීයෑමට පත්වේ.

ඒ පරම ශාන්තිය අත් කරගැනීමට නම්, අප විසින් සිදු කළ යුත්තේ කුමක් ද.?

ජීවිතයෙහි ඇති අනිත්‍යතාවය ඉතා හොඳින් සිහි කිරීම ය. ලෝකයෙහි ඇති සංකත ස්වභාවය, සිය වසඟයෙහි පැවැත්විය නො හැකි ස්වභාවය, නිතර මෙනෙහි කිරීම ය. එසේ මෙනෙහි කිරීම තුළින් ක‍්‍රමක‍්‍රමයෙන් ලෝක දුකින් නිදහස් වීමේ භාග්‍ය අපට උදාවෙනු ඇත.

එසේ ම ලෝකය කෙරෙහි ඇති දැඩි ඇල්මත් ගැටීමත් දුරු කරමින්, සිතට නැෙඟනා අකුසල් දුරු කිරීමේ වීරියෙන් යුතු ව, සිහියත් නුවණත් පිහිටුවාගෙන, ශරීරයෙහි යථා ස්වභාවය නිරන්තරයෙන් දකිමින් වාසය කරන්නට අප උත්සාහ කළ යුතු ය.

ඒ අයුරින් ම, වේදනාවන් ගේ ද, සිතෙහි ද, ධර්මයන් ගේ ද යථා ස්වභාවය දකිමින් වාසය කරන්නට උත්සාහ කළ යුතු ය. මෙසේ සතර සතිපට්ඨානයන් හි ඉතා හොඳින් සිහිය පවත්වන විට, ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට අපට හැකි වනු ඇත.

මේ අතර ම විශේෂයෙන් මතක තබා ගත යුත්තක් තිබේ. එනම් අපට පමා වීමට කාලයක් නැති බව යි. මේ දැන් ද අපේ ශරීරය, වේගයෙන් දිරා ය යි. මේ මොහොතේ ද, ජරාව විසින් ජීවිතය නම් වූ සංඛතය මඩිමින් තිබේ. තව නොබෝ කලකින්, අතපය වාරු නැති තරමට ම, කය සෘජුව තබා ගත නො හැකි වන තරමට ම ජරාව විසින් මේ සිරුර යටපත් කොට දමනු ඇත. ඊට පළමුව, ජරාවට පත් වුව ද ශාන්තව සිටිය හැකි ස්වභාවය ඇති කරගැනීම සඳහා වීරිය ආරම්භ කළ යුතු ය. එම වීරිය ඇරඹීම කල් දැමිය යුත්තක් නොවේ.

නමුත් සාමාන්‍ය ලෝකයා සිදු කරන්නේ කළ යුතු ම දේ වන එම කර්තව්‍ය දිනෙන් දිනට කල්දැමීමකි. එම කල්දැමීම අවසානයේ කිසිදා ආරම්භ නො කරන තැන දක්වාම කල් දමති. අප සසර ගමනේ මෙතෙක් දුර ගෙවා ආවේ ඒ අයුරිනි. මෙවර ද එම කල්දැමීම දිගින් දිගට ම සිදු කරගෙන ගියහොත්, නැවතත් දිරණ මැරෙන ලෝකය සමඟින් උපදින්නට අපට සිදු වනු ඇත. එනිසා, වහ වහා සිහිනුවණ පිහිටුවාගෙන, දහමේ හැසිරීමට නො පමා වන්න.

ත‍ෙරුවන් සරණයි!

  • Tweet
Tagged under: death, jara suthraya, jara sutta, maranaya, ජරා සූත්‍රය, ජරාව, මරණය, යථාර්ථය, වයසට යෑම

About Agra Evanesceca

යම් උතුමන් වහන්සේ නමක් ලෝක සත්වයින් සසර දුකින් මිදවූ සේක් ද, සියළු සත්වයන්ට උතුම්වූ ධර්ම රාජ වූ බුද්ධ වීරයන් වහන්ස, ඒ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මා ඔබ වහන්සේ සරණ ගොස් ඔබ වහන්සේගේ දියණියක වන්නට වෑයම් කරන්නෙමි!

What you can read next

පසුතැවිල්ල
ඔබත් පසුතැවෙනවා ද?
දුක
මේ දුක සත්‍යයක් ම යි (01)
Final Moment
Just Before The Final Moment.

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP