06. කස්සප සූත්‍රය

/ / Udana

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!

♦ කස්සප සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ (කලන්දකනිවාප) උණ වනයේ (වේළුවනේ) වැඩවාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යපයන් වහන්සේ අසනීප වී, කායික දුකට පත්ව, දැඩි ලෙස ගිලන් වී පිප්ඵලී ගුහාවෙහි වැඩ වාසය කරන සේක.

ඉන්පසු ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පසුකලෙක ඒ ගිලන්බවින් නැගී සිටි සේක (සුවපත් වූවේ ය). ඒ ආබාධයෙන් නැගී සිටි ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට මෙවැනි සිතක් පහළ විය. “මම රජගහනුවර පිණ්ඩපාතය පිණිස යන්නෙම් නම් හොඳයි“ කියා යි.

එසමයේ පන්සියයක් පමණ දෙවඟනන් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට පිණ්ඩපාතය පිළිගැන්වීමෙහි උත්සාහවත් වූවාහු ය.

ඉන්පසු ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ එම පන්සියයක් පමණ වූ දේවතාවන් ව ප්‍රතික්ෂේප කොට උදෑසන කාලයේ සිවුරු හැඳ පොරවාගෙන පාත්‍ර සිවුරු රැගෙන රජගහ නුවර අසරණ දිළින්ඳන්, දුප්පත් මිනිසුන්, රෙදි වියන මිනිසුන් සිටින මාවතක පිණ්ඩපාතය පිණිස වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ, එසේ රජගහනුවර අසරණ දිළින්ඳන්, දුප්පත් මිනිසුන්, රෙදි වියන මිනිසුන් සිටින මාවතක පිණ්ඩපාතයෙහි වඩින ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ දුටු සේක.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ගෙන, ඒ අවස්ථාවේ දී මේ උදානය පළ කළ සේක.

අනඤ්ඤපෝසිං අඤ්ඤාතං දන්තං සාරේ පතිට්ඨිතං,
ඛීණාසවං වන්තදෝසං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං..

තේරුම »»»

වෙනත් අයෙකු ව පෝෂණය නො කරන, (දෙවියන් අතර පවා) ප්‍රසිද්ධ වූ, ඉන්ද්‍රිය දමනය කරගැනීමෙන් දමනය වූ, විමුක්ති සාරයෙහි පිහිටි, ආශ්‍රව ක්ෂය කරන ලද, දුරු කරන ලද රාගාදී දොස් ඇති, ඒ උත්තමයා මම බ්‍රාහ්මණයෙක් යැයි කියමි…

Send your Dhamma Questions

෴ ඔබේ දහම් ගැටලුව යොමු කරන්න

මෙම ලිපිය කියවීමේ දී ඇතිවූ දහම් ගැටලු හෝ ඔබේ වෙනත් දහම් ගැටලු යොමු කරන්න අප වෙත. එම දහම් ගැටලුවට ධර්ම විනය පිළිබඳ මනා දැනුමක් ඇති පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පිළිතුරු සපයනු ලැබේ.

Sutta Requests

෴ ඔබට අවශ්‍ය සූත්‍ර දේශනා

පින්වත් ඔබට කියවීමට අවශ්‍ය සූත්‍ර දේශනා, සොයා ගැනීමට දුෂ්කර සූත්‍ර දේශනා ආදිය වෙත් නම් අප වෙතින් විමසන්න. ඔබට අවශ්‍ය සූත්‍ර දේශනාව, ඔබ වෙත මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන්නට අප කටයුතු කරන්නෙමු.

සාදු! සාදු!! සාදු!!!


භාවය

අනඤ්ඤපෝසිං – වෙනත් අයෙකු ව පෝෂණය නො කරන,
අඤ්ඤාතං – බොහෝ දෙනෙකු විසින් දැන හඳුනන, ප්‍රසිද්ධ,
දන්තං – දමනය වූ,
සාරේ – විමුක්ති සාරයෙහි,
පතිට්ඨිතං – පිහිටි,
ඛීණාසවං – ආශ්‍රව ක්ෂය කළ,
වන්තදෝසං – දොස් බැහැර කළ,
තං – ඔහු,
අහං – මම,
බ්‍රාහ්මණං – බ්‍රාහ්මණයෙක්,
බ්‍රෑමි – කියමි.

සරළ අර්ථය

වෙනත් අයෙකු ව පෝෂණය නො කරන, (දෙවියන් අතර පවා) ප්‍රසිද්ධ වූ, ඉන්ද්‍රිය දමනය කරගැනීමෙන් දමණය වූ, විමුක්ති සාරයෙහි පිහිටි, ආශ්‍රව ක්ෂය කරන ලද, දුරු කරන ලද රාගාදී දොස් ඇති, ඒ උත්තමයා මම බ්‍රාහ්මණයෙක් යැයි කියමි…

සටහන

මෙම අසිරිමත් සිදු වීම සිදු වූ කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර කලන්දක නිවාපයේ වේළුවනාරාමයේ ය. මහාමන්ධාතු, මහා ගෝවින්ද ආදී රජවරුන් විසින් අයිති කරගත් හෙයින් මේ නගරයට රාජගහ යැයි කියනු ලැබේ. මෙම නගරය බුද්ධ කාලයෙහි ත් සක්විති රජවරුන් ගේ කාලයෙහිත්, නගරයක් වෙයි. අනෙක් කාලයන් හි දී යක්ෂයන් විසින් අයිත් කරගන්නා නිසා ජන ශූන්‍ය වේ.

අතීතයේ එක්තරා රජකෙනෙක් උයන් ක්‍රීඩා සඳහා වේළුවනයට පැමිණ සුරාමදයෙන් මත් වී දහවල් කාලයේ නිදා ගත්තේ ය. ඔහු ගේ පිරිවර ජනයා ද, රජු නිදා ගන්නේ යැ යි කියා මල්පල ආදියට ආශාවෙන් ඔබ මොබ ඇවිදින්නට පටන් ගත්තෝ ය. ඒ අවස්ථාවේ දී සුරා ගඳ නිසා එක් කළු නයෙක් ගසක සිදුරකින් එළියට පැමිණ රජු ඉදිරියට එන්නට පටන් ගත්තේ ය. එය දුටු රුක් දෙවියෙක් රජුට ජීවිත දානය ලබා දෙන්නෙමියි සිතා ලේනෙකු ගේ වේශයෙන් පැමිණ නිදා සිටි රජු ගේ කණ ළඟ ශබ්ද කළේ ය. රජු අවදි විය. කළු නයා නතර වූයේ ය. රජු එය දැක, මේ ලේනා විසින් මා හට ජීවිතය දුන්නේ යැයි කියා, එම උණ වනයේ තැන් තැන් වල ලේනුන්නට වාසස්ථාන ඉදි කොට, අභය භූමියක් ලෙස නම් කළේය. එතැන් පටන් මෙය කලන්දක නිවාප – ලෙහෙනුන් ගේ අභය භූමිය ලෙස ප්‍රසිද්ධ විය.

බුද්ධානුබුද්ධ මහා ඛීණාසව මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ මේ බුදු සසුනේ අතිශයින් විශ්මිත ජීවිතයක් ගත කළ මහෝත්තමයන් වහන්සේ නමකි. දුතාංගධාරීන් අතරින් අග තැන්පත් වූ මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ රූපකායයෙන් පවා බුදු රජාණන් වහන්සේට බොහෝ සමාන කම් සහිත වූ සේක.

ගිහි ජීවිතය ගත කළ අවධියෙහි දී අතිශයින් සුඛෝපභෝගී ජීවියත් ගත කළ උන්වහන්සේ ඒ සියල්ල අලුයම ලූ කෙළපිඩක් සේ බැහැර කොට දමා, උතුම් සම්බුදු සසුනෙහි පැවදි වී, රුක්ෂමූලිකාංගය ආදී දුෂ්කර දුතාංගයන් සමාදන්ව මුලු ජීවිතය ම විමුක්ති සුව විඳිමින් ගත කළ අයුරු ආශ්චර්යවත් ය.

මහා කාශ්‍යපයන් වහන්සේ ගේ මහාගුණස්කන්ධයට දෙවි දේවතාවුන් වහන්සේලා බොහෝ සෙයින් පැහැදී සිටියහ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටි කුටියේ මිදුල ඇමදීමට පුරුදුව සිටි දෙවඟනක් ගැන ද අපි අසා ඇත්තෙමු.

පිප්ඵලී ගුහාවේ ගිලන් ව වැඩ සිටි මහාකාශ්‍යප මහරහතුන් වහන්සේ සුවපත් වූයේ භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංග පිරිත දේශනා කිරීමෙන් අනතුරුව වේ.ඉන් පසුව උන්වහන්සේට රජගහ නුවර පිණ්ඩපාතය පිණිස යා යුතු ය යන අදහස පහළ විය.

මෙම සංකල්පනාව දුටු සක් දෙවිඳුන් තමන්ට උපස්ථාන කරන පරෙවි පා පැහැති දෙපා ඇති දෙවඟනන් පන්සියය මහාකාශ්‍යපයන් වහන්සේට පිණ්ඩපාතය පිළිගැන්වීම පිණිස පිටත් කොට හැරියේ ය. ඒ දෙවඟනන්ද පිණ්ඩපාතය සකස් කොට ගෙන, රන් බඳුන්වල දමා මහාකාශ්‍යප මහරහතුන් වහන්සේ පිණ්ඩපාතය වඩින අතර මග, “ස්වාමීනී මේ පිණ්ඩපාතය පිළිගන්න, ස්වාමීනී මේ පිණ්ඩපාතය පිළිගන්න“ යි කියමින් රැදී සිටියහ.

මහා කාශ්‍යපයන් වහන්සේ, “ඔබලා පිටත්ව යන්න, ඔබලා කළ පින් ඇති අය යි, මහා වස්තු සම්පත් ඇති අයයි, මම දුප්පතුන්ට පිහිට පිණිස පිණ්ඩපාතයේ වඩිමි“යි කියා දෙවඟනුන් ප්‍රතික්ෂේප කොට රජගහ නුවර අන්තදුගී මිනිසුන්, අසරණ දිළින්දන් වාසය කරන වීතියක පිඞු පිණිස වැඩි සේක.

තමන් වහන්සේ ගේ ලයෙන් උපන් පුත්රුවන ගේ මේ මහා ගුණය මහ මුනි රජාණෝ වේළුවනාරාමයේ වැඩ සිටිමින්, දිවැසින් දුටු සේක. එසේ දැක මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ගේ විස්මිත ගුණ ප්‍රකට කරනු වස් මේ උදානය පළ කළ සේක. මුලු තුන් ලොව ම ගුණ සුවඳින් සුවඳවත් කළ ඒ උත්තමයන් වහන්සේලාට අප ගේ නමස්කාරය ම වේවා..!!!

සාදු! සාදු!! සාදු!!!

පරිවර්ථනය සහ සටහන: පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

1 Comment to “ 06. කස්සප සූත්‍රය”

  1. Asoka says :Reply

    You are asking for comments in English.But the text given above is in Sinhalese, which is not readable to some.Try to give them in English too.May you all be happy!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *