
පහුගිය දිනවල අප සැමගේ හද කම්පා කරවන පුවතක් විදෙස් මාධ්‍ය වලින් අපට අසන්නට ලැබුනා. ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ අවුරුදු දෙකක් පමණ වයස සුජිත්නම් කුඩා දරුවෙකු ළිං කුහරයක් තුළ සිර වී දින කිහිපයක් තිස්සේ ම ජීවිතය යදිමින් සිටි පුවතයි. ලෝකයක්ම මහත් කම්පාවෙන් සහ හද පිරි අනුකම්පාවෙන් බලා සිටියේ ඒ පුතනුවන් බේරාගන්නට හැකිවේවා යන උතුම් ප්‍රාර්ථනාවක් සමගිනුයි. නමුත් අවාසනාවන්ත ලෙස ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගොස් එම දරුවා මෙලොව හැර ගියා.
මොහොතකට සිතා බලන්න. ලෝකයක් අනුකම්පාවෙන් බලා සිටියත්, අපි කොතෙක් දෙවියන් යැදුවත්, කොතරම් දියුණු තාක්ශණයක් අද ලොව පැවතුනත්, ලෝ සත්වයාට කර්මයෙන් ගැලවෙන්න තාක්ෂණයක් නොමැති හැටි හරිම පුදුමයි නේ ද? අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියලු සසර දුකින් නිදහස් කරවන උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට කියා නොදෙන්නට අප තවමත් ගස් ගල් අදහමින් මිත්‍යාවන් වලට හසු වී සසර පුරා මෙවැනි අනේක විද දුක් දොම්නස් විදිමින් කෙතරම් නම් දුරක් දුවාවිද?
කර්මයම ඥාතියා කරගත් සත්වයාට තමන් කරන කියන දේවල් වල විපාක මෙලොව පරලොව දෙකෙහිදී ම විඳින්නට සිදු වනවාමයි. එය සදාතන සත්‍යක්. එම දරුවා සසරේ කෙදිනක හෝ දිනක කිසියම් සත්වයෙක් මිය යන තෙක් ම එසේ සිර කර තබන්නට ඇති. ඒ අයුරින් එහි විපාක ලෙස මේ ජීවිතය මෙසේ ගෙවී යන්නට ඇති.
බුදු පියාණන් වහන්සේ වැඩ විසූ කාලයේ දීත් මෙවැනි සිද්ධියක් ගැන අපට අසන්නට ලැබෙනවා. ස්වාමින්වහන්සේලා හත් නමක් බුදු රජාණන් වහන්සේ බැහැ දකින්නට සැවැත් නුවරට යමින් සිටින විට දී, එක්තරා ගල් ගුහාවක් තුළ සිර වුනා. ඒ ස්වාමීන් වහන්සේලාට කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව සත් දිනක් ම එම ගල් ලෙන තුළ සිරවී සිටීමට සිදු වනවා. මිනිසුන් කෙතරම් වෑයම් කළත් එම ගල් ලෙන විවර කරගන්නට හැකි වන්නේ නැහැ. නමුත් දින සතකින් පසු ගල් ලෙන ඉබේ ම විවර වී ඒ ස්වාමීන් වහන්සේලා සත් නම බොහෝ අපහසුවෙන් එළියට වඩිනවා.
අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අතීතයේ එක් ජීවිතයක දී මේ ස්වාමීන් වහන්සේලා ගොපලු දරුවන්ව ඉපදී, තලගොයෙකු ගුලක් තුළ සත් දිනක් සිර කර තැබූ කර්මයෙහි විපාක වශයෙන් මෙලෙස ගුහාව තුළ සිරවී සිටින්නට සිදු වූ බවයි.
බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි පිනෙන් වැඩි එවැනි කලකත් ලෝ සත්වයාට කර්ම විපාක වලින් ගැලවී යාමට නොහැකි වුනා. වර්තමානය ගැන කවර කථා ද? එසේ ම අනාගතයේ ද කිසිදු සත්වයෙකුට කර්ම විපාක වලින් ගැලවීයා හැකිවන්නේ නැත.
ඉතින් මේ යතාර්ථය තේරුම් නොගෙන, මරණය කොයි මොහොතක කෙලෙසින් අප කරා පැමිනේදැයි නොදන්නා, තණ අග රැදි පිනිබිදක් වන් වූ මේ ජීවිතය අප නොයෙක් සිහින මාලිගා තනමින් කොතෙක් දුර ගෙනයනවා ද? අවසානයේ ඔබ ගොඩ නගන සිහින මාළිගා කිසිවක් ඔබට ගෙන යා නොහැක. කිසිදු සත්වයෙකුට කිසිදු දෙවි බඹෙකුට, කිසිදු තාක්ෂණයකට ඔබව මරනින් මුදවාගත නොහැක. ඒ නිසා අප්‍රමාදීව අප තුළ බලපවත්වන අකුසල් සිත් නැති කරගෙන දිනෙන් දින ධර්මය තුළ කුසලයෙන් ශක්තිමත්ව අපමණ දුක් ඇති මේ සසරින් නිදහස් වීමට අප වෑයම් කළ යුතු ම යි.
නො එසේ නම් අපට ද සසරේ මෙවැනි කටුක දුක්ඛයන්ට යළි යළිත් අනේක වාරයක් මුහුණ දෙන්නට සිදු වනු නො අනුමානයි. එනිසා මේ අප්‍රමාදී වීමට ම කාලය යි.
තෙරුවන් සරණයි !
සටහන : අග්‍රා එවනෙස්කා
Sadhu sadhu sadhu
Bohoma pin for explaining in Dhamma