
බුදු රජාණන් වහන්සේ කියන්නේ පමණ කළ නොහැකි බුද්ධ ගුණ දරා වැඩ සිටි උත්තමයාණන් වහන්සේ යි. මේ මහ පොළොවටත් වඩා, නිල් අහසටත් වඩා, මහ සමුදුරටත් වඩා බුදු රජාණන් වහන්සේට ගුණ තිබුණ. ගුණ මැණික් ආකාරයක් වගේ ජීවිතයක් දරාගෙන තමයි ඒ බුදු රජාණන් වහන්සේ මේ මිහි තලය මත වැඩ සිටියේ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේට “රතනාකර” කියල කියන්නෙ.
ලස්සන ලස්සන මල් එකතු කරල මල් මාලයක් ගොතනවා වගේ ඒ සුන්දර බුදු ගුණ එකතු කරල නිර්මාණය කළ ගාථා රත්නයන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් එම ගාථාවන් කොටස් වශයෙන් ඔබ වෙත තිළිණ කරන්නට අප කල්පනා කළා. මේ ගාථා ශ්‍රද්ධාවෙන් ම කියවන්න. අප සරණ ගිය භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට මෙවැනි ගුණ තිබෙනවා නේද කියල සිත පහදවා ගන්න. එම පින ඒකාන්තයෙන් ඔබට සදා සැනසිල්ල පිණිසම හේතු වේවි!
01. යථේව පුප්ඵරාසිම්හා, ගන්ථෙය්‍ය මාලා සෝභනා
එවං බුද්ධගුණගාථා, විරචිං සහස්සාධිකා.
මල් රැසක් එක් කොට සොඳුරු මල් දමක් ගොතන්නේ යම් සේ ද, එසේ ම දහසකට අධික වූ බුදු ගුණ ගාථා මෙසේ සකසන ලදි.
02. සෝපි භගවා අරහං, සම්මාසම්බුද්ධෝ සයම්භූ
විජ්ජාචරණසම්පන්නෝ, බුද්ධං තං පණමාමහං.
ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. තමන් වහන්සේ විසින් ම සියල්ල අවබෝධ කළ සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි.

03. පුරිසදම්මසාරථී, ලෝකවිදූ අනුත්තරෝ,
සත්ථාදේවමනුස්සානං, බුද්ධං තං පණමාමහං
ඒ භාග්‍යවතුන් වහන්සේ පුරුෂයින් දමනය කරන සේක. සියලු ලොව අවබෝධ කළ සේක. අනුත්තර වන සේක. දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි.
04. සුගතෝ සුගදෝ සාමී, සුඛදෝ සන්තිපදායකෝ
සබ්බලෝකානුකම්පකෝ, බුද්ධං තං පණමමහං.
ඒ බුදු රජාණන් වහන්සේ සොඳුරු නිවනට වැඩි සේක. සොඳුරු වචන ඇති සේක. ලොවට සැපත ලබා දෙන සේක. ශාන්ත නිවන ලබා දෙන සේක. සියලු ලෝකයට අනුකම්පා ඇති සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
05. වරෝ වරඤ්ඤූ වරදෝ, වරුත්තමෝ වරාහරෝ
වරධම්මං අදේසයි, බුද්ධං තං පණමාමහං.
ඒ බුදු රජාණන් වහන්සේ උත්තම වන සේක. උතුම්භාවය (නිවන) දන්නා සේක. උතුම් භාවය ලබා දෙන සේක. උතුම් අය අතරින් උත්තම වන සේක. සත්වයින් (හීන ස්වභාවයෙන් නගා සිටුවා) උත්තම භාවයට පමුණුවන සේක. උතුම් ධර්මය දේශනා කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
06. මහාමඞ්ගලමඞ්ගල්‍ය, මඞ්ගලෝ මඞ්ගලාලයෝ
මඞ්ගලායතනෝ නාථෝ, බුද්ධං තං පණමාමහං
මහා අභිවෘද්ධි දායකයාණන් වහන්සේ වන සේක, යහපත ඇති කරන සේක. සියලු ලොවට ශුභ ආකාර ඇති කරන සේක. සියලු මංගල කරුණු වල උත්පත්ති ස්ථානය වන සේක. ලොවට රැකවරණය ඇති කරන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
07. මඞ්ගලින්දෝ මඞ්ගලිකෝ, මහාමඞ්ගලනායකෝ
මඞ්ගලධම්රෑමං දේසේසි, බුද්ධං තං පණමාමහං
ලොවට යහපත ඇති කරන්නවුන් අතර රජු වන සේක. මංගලික වන සේක. අභිවෘද්ධිය ඇති කරන්නවුන් අතරින් නායකයාණන් වහන්සේ වන සේක. සියලු යපහත ඇති කරන ධර්මය දේශනා කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
08. මඞ්ගලග්ගෝ මඞ්ගලඤ්ඤූ, මඞ්ගලත්ථපදායකෝ
මඞ්ගලපන්ථදස්සාවී, බුද්ධං තං පණමාමහං.
ශුභ ලකුණු ඇතියවුන් අතරින් අග්‍ර වන සේක. ශුභ වූ නිවන දැනගත් සේක. යහපත ඇති කරන නිවන් සුවය ලබා දෙන සේක. පරම මංගල වූ නිවනට යන මාර්ගය පෙන්වා දෙන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි.
09. මඞ්ගලිච්ඡෝ මඞ්ගලිද්ධෝ, මඞ්ගලමභිවද්ධනෝ
මඞ්ගලේහි පරිපුණ්ණෝ, බුද්ධං තං පණමාමහං
ලොවෙහි යහපත කැමති වන සේක. මංගල කරුණු වලින් සමෘද්ධිමත් සේක. අභිවෘද්ධිය වඩවන සේක. සියලු මංගල කරුණු වලින් පරිපූර්ණ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
10. මඞ්ගලාභා උජ්ජෝතේසි, මඞ්ගලත්ථපභාකරෝ
මඞ්ගලාලෝකමණ්ඩිතෝ, බුද්ධං තං පණමාමහං
මංගල ඕභාසය දැල්වූ සේක, යහපත ඇති කිරීමෙහි ලා හිරු මෙන් වන සේක. සියලු මංගල ආලෝකයෙන් ගැවසීගත් සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
11. මඞ්රගලත්ථමනුප්පත්තෝ, මඞ්ගලත්ථපරායණෝ
සබ්බදා මඞ්ගලකරෝ, බුද්ධං තං පණමාම්‍යහං
පරම මංගල කරුණ වූ නිර්වාණයට පැමිණි සේක. නිවන පිහිට කොට ඇති සේක. සැමදා ලොවට යහපත ඇති කරන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
12. මඞ්ගලමග්ගමන්වේසි, පත්තෝ මඞ්ගලමුත්තමං
මඞ්ගලායනං දස්සේතා, බුද්ධං තං පණමාමහං
මංගල මාර්ගය වූ නිවන් මග සොයාගත් සේක. උත්තම මංගල භාවය වූ නිවනට පත් වූ සේක. ඒ පරම මංගල වූ නිවන පෙන්වා දෙන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
13. මඞ්ගලමහිමාධාරී, මඞ්ගලකාරී නායකෝ
සබ්බධි මඞ්ගලදාතා, බුද්ධං තං පණමාමහං
මංගල මහිමය දරා වැඩ සිටි සේක. මංගල භාවය ඇති කරවන සේක. තුන් ලොවට නායක වන සේක. සියලු තැන්හි ම යහපත ලබා දෙන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
14. මඞ්ගලස්ස කෝවිදෝ ච, අමඞ්ගලස්ස කොවිදෝ
පරමං මඞ්ගලං ලද්ධෝ, බුද්ධං තං පණමාමහං
මංගල කරුණු ද අමංගල කරුණු ද තේරුම් ගැනීමේ දක්ෂ වන සේක. පරම මංගල භාවය ලැබූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
15. සබ්බමඞ්ගලසම්පන්නෝ, මඞ්ගලඝෝසඝෝසකෝ
මඞ්ගලූත්තමං දේසේසි, බුද්ධං තං පණමාමහං
සියලු ශුභ කාරණා වලින් සමන්විත වන සේක. මංගල ඝෝෂය ඇති කළ සේක. උත්තම මංගලත්වය වන නිවන දේශනා කළ සේක.
16. මහාමඞ්ගලත්ථං මග්ගී, ලද්ධෝ ධම්මසුමඞ්ගලෝ
මඞ්ගල’ද්ධානං ඤාපෙසි, බුද්ධං තං පණමාමහං
මංගල අර්ථය සෙවූ සේක. අතිශයින් සොදුරු වූ ධර්මය ලබා ගත් සේක. මංගල මාර්ගය අවබෝධ කරවූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
17. අගාරිකත්ථං ඤාපේසි, මහාමඞ්ගලමුත්තමං
ගිහී සහායකෝ සාමී, බුද්ධං තං පණමාමහං
ගිහිඅයට යහපත ඇති කරගැනීම ගැන අවබෝධ කොට දුන් සේක. සුවිසල් උතුම් මගුල් කරුණින් යුතු වන සේක. ගිහියන් හට ද යහපත පෙන්වා දෙන සේක. අප ගේ ස්වාමී වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
18. මහාමඞ්ගල’ලඞ්කිතෝ, මහාමඞ්ගලභූසනෝ
මහාමඞ්ගලසේඛරෝ, බුද්ධං තං පණමාමහං
මහා මංගල සළකුණු වලින් අලංකාර වූ සේක. මහා මංගල කරුණු වලින් සුන්දර වූ සේක. මහා මංගල කරුණු වල මුදුන් මල්කඩ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
19. මහාමඞ්ගලංසුමාලී, මඞ්ගලාභෝ සමුජ්ජලෝ
මඞ්ගලංසුං උජ්ජෝතේසි, බුද්ධං තං පණමාමහං
මහා මංගල කරුණු ඇමිණු මල්දමක් වැනි ය. මංගල ආලෝකය දැල්වූ සේක. මංගල ප්‍රභාව බැබලවූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
20. මහග්ඝ මඞ්ගලෝදධි, මහන්තමඞ්ගලණ්ණවෝ
මහාමඞ්ගලසාගරෝ, බුද්ධං තං පණමාමහං
මහා අනර්ඝ මංගල කරුණු පිරි විලක් වැනි ය. මංගල කරුණු පිරි මහ මුහුද වැනිය. මහා මංගල සාගරයක් වැනිය. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
21. අමඞ්ගලනිසාහන්තා, මඞ්ගලභානුභස්සරෝ
මඞ්ගලාලෝකවිකිණ්ණෝ, බුද්ධං තං පණමාමහං
සියලු අමංගල කරුණු නැසූ සේක. මංගල හිරු රැස් විහිද වූ සේක. මංගල ආලෝකයෙන් ගැවසීගත් සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
22. බාහුසච්චෝ බුජ්ඣනකෝ, ධම්මචක්ඛුඋප්පාදකෝ
තිභවමඞ්ගලඞ්කාරී, බුද්ධං තං පණමාමහං
ඒ බුදු රජාණන් වහන්සේ බොහෝ දහම් දත් සේක. සිරි සදහම් අවබෝධ කළ සේක. දහම් ඇස උපදවන සේක. තුන් භවයට ම යහපත, මංගල්‍යය ඇති කරවන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
23. මහාවත්තා පවත්තා ච, අත්ථස්ස නින්නේතා පභූ
අමතස්ස දාතා විඤ්ඤූ, බුද්ධං තං පණමාමහං
ශ්‍රී සද්ධර්මය දේශනා කරන මහා වක්තෘන් වහන්සේ වන සේක. දහම් සක පවත්වන ප්‍රවක්තෘන් වහන්සේ වන සේක. සදහම් අරුත් මතුකර දක්වන නේතෘන් වහන්සේ වන සේක. තුන් ලොවට අමෘතය දන් දෙන අමෘතදායකයාණන් වහන්සේ වන සේක. මහා නුවණැති සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
24. දිවා තපති ආදිච්චෝ, රත්තිං දිප්පති චන්දිමා
රත්තිංදිවං තපි නාථෝ, බුද්ධං තං පණමාමහං
දිවාකල ලොව එළිය කරමින් හිරු බබළන්නේ ය. රාත්‍රියේ සඳ බබළන්නේ ය. සතුනට රැකවරණ සළසන බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙකෙහි ම ලොව එළිය කරමින් බබළන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
25. සන්නද්ධෝ ඛත්තියෝ තපති, ඣායී තපති බ්‍රාහ්මණෝ
නිරන්තරං තපි නාථෝ, බුද්ධං තං පණමාමහං
ක්ෂත්‍රීයයා සන්නද්ධ වූ විට බබළන්නේ ය. බ්‍රාහ්මණයා ධය්‍යාන වඩන විට බබළන්නේ ය. ලොවට පිහිට සළසන බුදු රජාණන් වහන්සේ සැමවිට ම ලොව දිදුලවමින් බබළන්නේ ය.
26. දුක්ඛදෝමනස්සනාසී, සෝකපරිදෙවක්ඛයෝ
ජාතිමච්චුජරාතිගෝ, බුද්ධං තං පණමාමහං
භාග්‍යවතුන් වහන්සේ දුක් දොම්නස් නැසූ සේක. සෝක වැලපීම් ක්ෂය කළ සේක. ඉපදීම ත් මරණය ත් වසයට යෑම ත් ඉක්මවා ගිය සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
27. යථාවාදී තථාකාරී, තථවාදී තථාගතෝ
යථාකාරී තථාවාදී, බුද්ධං තං පණමාමහං
ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් පවසන්නේ ද, එය ම සිදු කරන සේක. යථා ස්වභාවය ම පවසන සේක. යමක් සිදු කරන්නේ ද එය ම පවසන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
28. භග්ගරාගෝ භග්ගදෝසෝ, භග්ගමෝහෝ සෝ භගවා
භග්ගමානෝ භග්ගමායෝ, බුද්ධං තං පණමාමහං
ඒ භාග්‍යවතුන් වහන්සේ රාගය බිඳලූ සේක. ද්වේශය බිඳලූ සේක. මෝහය බිඳලූ සේක. මානය බිඳලූ සේක. මායාවන් බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
29. භග්ගකාමෝ භග්ගකොධෝ, භග්ගකෝපෝ භග්ගකුහෝ
භග්ගකසාවෝ භග්ගින්ධෝ, බුද්ධං තං පණමාමහං
කාමය බිඳලූ සේක. ක්‍රෝධය බිඳලූ සේක. කෝපය බිඳලූ සේක. කුහකගති බිඳලූ සේක. කෙළෙස් කසට බිඳලූ සේක. තණ්හාව නැමති කණුව බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
30. භග්ගජාති භග්ගමච්චූ, භග්ගලෝකෝ භග්ගභවෝ
භග්ගසංසාරෝ භග්ගෝඝෝ, බුද්ධං තං පණමාමහං
ඒ බුදු රජාණන් වහන්සේ ඉපදීම බිඳලූ සේක. මරණය බිඳලූ සේක. සියලු ලෝක බිඳලූ සේක. සියලු භව බිඳලූ සේක. සංසාර චක්‍රය බිඳලූ සේක. සංසාර ඕඝය (සැඩ පහර) බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
31. භෝගභග්ගෝ සොකභග්ගෝ, රෝගභග්ගෝ භග්ගරජෝ
සූලභග්ගෝ සල්ලභග්ගෝ, බුද්ධං තං පණමාමහං
සියලු කාම සම්පත් බිඳලූ සේක. ශෝකය බිඳලූ සේක. සංසාර රෝගය බිඳලූ සේක. කෙළෙස් දුහුවිලි බිඳලූ සේක. තණ්හා අවිය බිඳලූ සේක. තණ්හා හුල බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
32. ආසාභග්ගෝ ඉස්සාභග්ගෝ, එජාභග්ගෝ භග්ගජටා
ඡන්දභග්ගෝ බන්ධභග්ගෝ, බුද්ධං තං පණමාමහං
ඒ බුදු රජාණන් වහන්සේ ආශාව බිඳලූ සේක. ඊෂ්‍යාව බිඳලූ සේක. තණ්හාව බිඳලූ සේක. මෝහ ජාලය බිඳලූ සේක. කැමැත්ත බිඳලූ සේක. සංසාර බන්ධනය බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කර කරමි.
33. වීතරාගෝ වීතදෝසෝ, වීතමෝහෝ වීතාසවෝ
වීතකාමෝ වීතකෝධෝ, බුද්ධං තං පණමාමහං
භාග්‍යවතුන් වහන්සේ වීතරාගී වූ සේක, වීතදෝසී වූ සේක. වීතමෝහී වූ සේක. ආශ්‍රව දුරු කළ සේක. කාමයන් දුරු කළ සේක. ක්‍රෝධය දුරු කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
34. වීතපාපෝ වීතපුඤ්ඤෝ, වීතභාරෝ වීතමලෝ
වීතවිකාරෝ වීතින්ධෝ, බුද්ධං තං පණමාමහං
පාපයන් දුරු කළ සේක. පුඤ්ඤාභි සංස්කාර දුරු කළ සේක. සංසාර බර දුරු කළ සේක. කෙළෙස් මල දුරු කළ සේක. වෙනස්වීම් දුරු කළ සේක. තණ්හා ටැඹ දුරු කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
35. වන්තරාගෝ වන්තදෝසෝ, වන්තමෝහෝ වන්තමලෝ
වන්තකසාවෝ වන්තීඝෝ, බුද්ධං තං පණමාමහං
රාගය බැහැර කළ සේක. ද්වේශය බැහැර කළ සේක. මෝහය බැහැර කළ සේක. කෙළෙස් මල බැහැර කළ සේක. කෙළෙස් කසට බැහැර කළ සේක. සියලු දුක් බැහැර කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
36. සග්ගුරු තිලෝකගුරු, සබ්බසත්තානමග්ගගුරූ
නේතාරේසු මහානේතා, බුද්ධං තං පණමාමහං
යහපත් ගුණ දහම් උගන්වන ගුරුවරයාණන් වහන්සේ වන සේක. තුන් ලොවට ම නිවන් මග පෙන් වන තිලෝගුරු මුනිඳුන් වන සේක. සියලු සතුනට අග්‍ර වූ ගුරු දෙවිඳුන් වන සේක. නිවනට පමුණුවන්න් අතරින් මහා නේතෘන් වහන්සේ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
සාදු සාදු සාදු!!!
කෘතඥතාවය: පින්තූරය සපයා දුන් SuzyT වෙත.
නමෝ බුද්ධාය!
අනේ සාදු..සාදු..සාදු…!!! මට හරිම සතුටක් ඇ තිඋන මම හොයා හොයා හිටිය උතුම් බුදුගුණ ශාන්තිය මේ විස්මිත අසිරිමත් සම්බුදුගුනයෙන්ම පිරුණු ගාථාවන් හමුවීම. අමාවතුර අසපුවෙන් සජ්ජායනා කරනවා අසපු දවසේ පටන්ම සෙවුවා. කියන්න බැරි තරම් අප්‍රමාණ පින්. සාදු..සාදු..සාදු…!!නමෝ බුද්ධාය!
namo buddhaya……..
SADHU….SADHU….SADHU….